යුද මුක්ත කලාපය කොටින්ගේ බර අවි ස්ථාන ගත කිරීමට යොදා ගනී
මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ආරක්ෂාව ලබා දීම සඳහා ප්‍රකාශයට පත් කළ යුද මුක්ත කලාපයට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් ඔවුන්ගේ බර අවි රැගෙන විත් අති බැව් ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් මුල්කොට ගෙන අර්බුදයක් නිර්මාණය කිරීමේ අරමුණින් ත්රස්තවාදීන් විසින් කාලතුවක්කු, මෝටාර් මෙන්ම ඔවුන්ගේ පරිවාර කඳවුරුද මෙම ප්‍රදේශ වලට මාරු කර ඇත.
විශ්වමඩු, පුතුකුඩිඉරුප්පු සහ මුලතිව් යන කොටි ත්රස්තවාදීන්ගේ අවසාන බලකොටු වෙත ආරක්ෂක හමුදාවන් ආසන්න වෙත්ම ත්රස්තවාදීන් මෙම පියවර ගෙන තිබේ. දහස් ගණනක් වූ අහිංසක දමිළ සිවිල් වැසියන් පිරිසක් කොටින්ගේ ග්‍රහණයේ පසු වන බව මේ වන විට තහවුරු වී තිබේ.
පසුගිය අඟහරුවාදා (ජන 20) කිලිනොච්චියේ මුදා ගත් ප්‍රදේශ වෙත පැමිණීමට උත්සාහ කළ 75000 කට අධික පිරිසකට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් වට කොටි පහර දී තිබේ. මෙහිදී ත්රස්තවාදීන් සිදු කළ වෙඩි තැබීම් වලින් සිවිල් වැසියන් 10 දෙනෙකු මිය ගිය බව එම අවස්ථාවේ ත්‍රස්ත ග්රහණයෙන් මිදී පලා ආ සිවිල් වැසියන් කිලිනොච්චියේ ආරක්ෂක අංශ වෙත පවසා ඇත.
මෙම පිරිසේ සිටි වෛද්‍ය සිසුවෙකු ඝාතනය කළ කොටි ත්රස්තවාදීන් ඔහුව එල්ලා තබා ප්‍රදර්ශණය කර පලා යාමට උත්සාහ කරන්නන්ට ලබා දෙන දඬුවම මෙය බව ප්‍රකාශ කර තිබේ. එම අවස්ථාවේ දී සුළු පිරිසක් ත්රස්තවාදීන්ගෙන් මිදී පලා ඒමට සමත්ව ඇති අතර ඉතිරි සියලු දෙනා එල්.ටී.ටී.ඊ. යේ වධකාගාර පවත්වාගෙන යනු ලබන විශ්වමඩු සහ පුතුකුඩිඉරුප්පු ප්‍රදේශ වෙත රැගෙන ගිය බැව් වාර්තා වේ. සමහර සිවිල් වැසියන් ත්රස්තවාදීන්ගේ මෙම වැඩ පිළිවෙළට විරුද්ධව නැගී සිටිමින් ත්රස්තවාදීන් සමග ගැටුම් ඇති කර ගැනීමට පෙළඹී ඇති බවද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.